ඉස්කෝලෙදි උගන්නපු අපේ ඉතිහසය ගැන මට එච්චර පහදීමක් තිබ්බෙ නැහැ. ඒක මට තෙරැනෙත් නැහැ. ලොකු පරස්පර තිබ්බ. 

මහා විහාරයේ උවමනාවට, මහා වංශය ඉතිහසය විකුර්ති කරල කියල අපේ උගත්තු එළිපිට කෑගහනව. නමුත් මට පස්සෙ කාලෙ බුද්ධ දේශනව ගැඹුරින් අහන්න ලැබෙද්දි තේරැනා මේක වැරදීමක් බව. අපේ ඉතිහාසයෙ එක තීරණාත්මක සාධකයක් ගොඩක් දෙනෙක්ට හරියට තේරුනේ නැති බවක් පෙනුන. නමුත් පිවිතුරැ බොදු ඇසකින්, ඇස් ඇරල බලද්දි අපේ ඇස් එදිරිපිට පේන දේවල් වලින් අපේ කතාව තෙරැම් ගන්න පුලුවන් බව මට තේරුම් ගියා. ඒ නිසා තමයි මම කලින් කිව්වෙ අපිට අපේ ඉව හෙමිහිට හොඩගන්ඩ බැරි නෑ කියල. මේ ගැන සවිස්තරව ඉසරහට ලියන්නම් පුලුවන් උනොත්.

කොහොම හරි මම මේ විදිහට ඉතිහාසය දිහා ආපහු බලමින් ඉන්න වෙලාවක තමා මට මේ  මහාචාර්ය නලින් ද සිල්වා ගෙ කතාව අහන්න ලබුනෙ. අබා ගැන මට කියන්ඩ දෙයක් නැහැ. නමුත් මේ දේශනයෙදි අපේ ඉතිහාසය සම්බන්ධව ගොඩනගන මතය අති විශිෂ්ඨයි! (මෙතනදි කියන්ඩ ඕනෙ මම මහාචාර්ය නලින් ද සිල්වා ගැන එච්චර පැහැදීමකින් හිටපු කෙනෙක් නොවන වග. ඒ සමහරවිට, මම උන්නැහෙ ගැනැ එච්චර දන්නෙ නැති නිසා වෙන්ඩ පුලුවන්) ඒ දේශනයෙදි කියවෙන අපේ ඉතිහාසය පිලිබඳ අතුරැ කතාව ඉතාමත් වැදගත් දෙයක් වෙන්ඩ ඉඩ තියනව. ඒ කතාව සම්පූර්ණයෙන් අහන්ඩ මම කැමතියි.

නලින් ද සිල්වා මහත්ත්යො, අර කිව්වත්වගේ ඕක ලියන්ඩ. වැඩි කල් යවන්නෙ නැතුව.

ගිය පාර ලංකවට ආපු වෙලේ, එක එක දේවල් වලට රටපුරා දුවන අතරෙ මට වෙනදටත් වඩා හොඳට දැනුනු දෙයක් තිබ්බ. ඒතමා අපේ රටේ හුඟ දෙනෙක් (විෂේශයෙන් තරැණ පිරිස) ගත කරන්නෙ පාවෙන ජීවිත කියන එක. මොනවටද ජීවත් වෙන්නෙ කියල දන්නෙ නෑ. මොනවද කරන්ඩ ඕනෙ කියල දන්නෙ නෑ. මෙතනින් කොහෙට ද යන්නෙ කියල දන්නෙ නෑ. ජීවිතේ කිසි සතුටකුත් නෑ. අවාසනාවන්ත හොල්මං වගේ ඔහේ යනව.

ඔය ගැන මම කල්පනා කර කර ඉන්න වෙලේ මම නවතිලා හිටපු තැන හිටපු ඕලන්දක්කාර (Dutch) කාන්තාවක් මාත් එක්ක කතාවට ඇවිත්, මගෙ හිත කියෙව්ව වගේ මගෙන් අහනව, “ඔයා මොනවද ලංකාව ගැන හිතන්නෙ?. මිනිස්සුන්ගෙ කිසි සජීවී බවක් නැහැ නේද?” කියල.

ඇත්ත, හමෝම ජීවිතේ දිහා ගැඹුරින් බලන්නෙ නැහැ තමා. ඒත් වෙනත් හුඟක් රටවල මිනිස්සුන්ට ඉවෙන් වගේ තමන්ගෙ ජීවිත ගලාගෙන යන විදිහ ගැන අවබෝධයක් තියනව. කරන්ඩ ඕන දේදන්නව. තමන්ගෙ ජීවිත් දිහා ගැඹුරෙන් නොබැලුවට නිරායාසයෙන් ම ඒක ගලාගෙන යනව. ටික කාලයක් දියුණුයි කියන රටවල මිනිස්සු අතරෙ ඉන්නකටො මේක හොඳට දැනෙනව. අන්තිම මෝඩය උනත් කොහෙන්දෝ ආපු ඉවකින් වගේ අරමුණක් කරා යනව. අපිට ඒක දනෙන් නැත්තෙ ඇයි?

බැලූ බැල්මටම හිතෙන්නෙ අපිට සල්ලි නෑ. උන්ට සල්ලි තියනව. යුද්ද කරන්ඩත් ඕනෙ. බඩු මිලත් වැඩි වෙලා. අපි එදා වේල හොයගන්ඩ දුක් විඳිනව. උන්ට සැප. අපිට දුක. අපිට ඕව හිතන්ඩ, කරන්ඩ වෙලාව නෑ, කියල. ඒත් ඇත්ත ඒක නෙමේ. අපේ සමජය හොල්මං වෙන්ඩ හෙතුවක් තියනව. පාවි පාවී ඔහේ යන්ඩ හේතුවක් තියනව.

ඒ හේතුව තමා අපේ සමජයෙ පදනම දිරා ගිහින් තිබීම. අපේ පද්ධති බිඳ වැටී තිබීම. ඇත්තෙන්ම ඒක බිඳ වටීමක් නෙමේ. බිඳ දැමීමක්. බිඳ දැමීමක්මත් නෙමේ, බිඳදමමින් පැවතීමක්. මේක අව්‍රැදු 300ක් විතර කාලයක් තිස්සෙ බොහොම හෙමින් වෙන දෙයක් නිසා, කල්පනාවෙන් නොබැලුවොත් එක පාරට පේන්නෙ නෑ.

කාලාන්තරයක් මුලුල්ලේ සමාජයක ගොඩ නැගෙන එක එක පද්ධති නිසා තමා මිනිස්සුන්ට අර ඉව ලබෙන්නෙ. එතකොට තමා යන ගමනෙ සිතියම මිනිස්සුන්ගෙ ලේවල තැම්පත් වෙන්නෙ. හුඟක් උල්පත්වලින් දිගටම නොකඩවා වතුර ගලනකොට, ඒ වතුර මුහුදට ගලන පාර හෙමින් හෙමින් සකස් වෙලා, ගඟේ පාර ලකුනු වෙනව වගේ වැඩක් තමා ඒක. අපේ ඒ ගඟ හෙමින් හෙමින් හිඳිල ගිහින්. තැනින් තැනින් මතුවෙන හුදකලා උල්පත් වලට ගලන්ඩ පාරක් නැහැ. මඩ වලවල් විතරයි හැදෙන්නෙ.

ඉතින් අපි මොකද කරන්ඩ ඕනෙ? මේක පිටින් ගෙනාපු දේවල් වලින් පුරැද්දන්ඩ (repair කරන්ඩ) බැහැ. අලුතෙන් ම හදන්ඩත් බැහැ. හෙමින් හෙමින් අපිම හාරල එක එක උල්පත් මතු කරගන්ඩ ඕනෙ. ටිකින් ටික අපේ ගඟේ සලකුනු පාදගන්ඩ ඕනෙ. ඒක අපේ පරම්පරවෙ වගකීමක්.

මේක යටත්විජිත විදිහයට හිටිය (විෂේශයෙන් බ්‍රිතාන්ය යටත්විජිත) රටවල් වලට පොදු ප්‍රශ්නයක්. නමුත් දැන් ඒ සමහර රටවල් බොහොම හොඳින් ඒ පාරෙ යන බව පේනව.

හැබැයි මේක කරන්ඩ පුලුවන් දේශපාලනයෙන් නෙමේ. (දේශපාලකයන්ට උදව් කරන්ඩ පුලුවන්. ඒත් කරන්ඩ බැහැ) අපිම තමා කරන්ඩ ඕනෙ. එකිනෙකා වෙන වෙනම, තමන්ගෙ එදිනදා ජීවිත තුලින් සකස්වෙමින් තමා මේවඩෙ කරන්ඩ ඕනෙ.

හෙමින් නමුත්, වීරියයි, මොලෙයි පාවිච්චි කරල අපිට කරන්ඩ දෙයක් තියනව!

සටහන:
කොහොම හරි, මට කියන්ඩ ඕනෙ උනේ, අපිට නැති මොකද්දෝ ඉවක් අනිත් (හුඟක්) රටවල අයට තියනව කියන එක. ඒක ඒගොල්ලොන්ට මඟ පෙන්වන බව පේනව.
දියුණුයි කියන රටවල විදේශිකයන්ව ආශ්‍රය කරන්න ලැබෙන අය පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න.

විමුක්තිය

October 4, 2008

මට අද බස් එකෙන් බැහැල එනකොට මගෙ මිත්‍රයෙක් එක්ක අව්‍රැදු පහකට විතර කලින් වෙච්ච කතාවක් මතක් උනා.

ඌ : මචං මේ වැඩේ හරි යන්නෙ නෑ, අපි නිර්මාණශීලී දෙයක් කරන්ඩ ඕනෙ.
මං : ඔව් බං. නැත්තං අපිටත් payroll systems හද හද තමා ඉන්ඩ වෙන්නෙ.

අද,
ඌ, නිර්මාණශීලීත්වය පහු කරන් ගිහින්, විමුක්තිය හොයන්ඩ පිළිවෙත් පුරනව.
මං, නිර්මාණශීලී payroll systems හදනව.
හෙහ්! ඕවට තමා කියන්නෙ ජීවන සරදම් කියල.

ඒ උත්තමයට ඉක්මනටම සදාකාලික විමුක්තියම ළඟා වේවා!

මුලු දවසින් වැඩි කාලයක් internet එකේ ගත කරන, ඒක තිත්ත වෙලා ඉන්න මට, මේ විකාර ජාලය තුළම අව්‍රැදු ගානකට පස්සෙ අයෙත් සිංහලෙන් සටහන් තියන්ඩ හිතුන. හේතුව වෙන එකක් නෙමේ, ජීවිතේ හෙමින් හෙමින් එක්තරා සුන්දර ඉසව්වකට ඇදී යන බවත්, ඒත් එක්කම ජීවිත කාලයක් තිස්සෙ අහපු ප්‍රශ්න වලට උත්තර ටික ටික මතු වෙන බවත් දැනුනු නිසයි.
ඉතිං අපි බලමු ඒක කොහොම වෙයිද කියල.