“පර” කියන්නෙ, “පිටස්තර” කියන එකටනෙ. ඉතිං මේ  පිටස්තරයින්ගෙන් අපිට ඉගනගන්ඩ පුලුවන් ගොඩක් දේවල් තියනව. හැබැයි ඒක ටිකක් අමාරු වැඩක්. මොකද දැන් කාලයක් තිස්සෙ ඉඳන් අපිට පුරුදු කරල තියෙන්නෙ පිටින් එන ඕනෙ දෙයක් එහෙයි කියල පිලිගන්ඩනෙ. එහෙම කරල හරියන්නෙ නැහැ. ඕනෙ, හරි දේ විතරක් පෙරල ගන්ඩ අපි දක්ෂ වෙන්ඩ ඕනෙ. කොහොම නමුත් මේ දවස්වල රට හදන හාහූවකුත් සැරේට ඇහෙන නිසයි මේ සටහන ලියන්න හිතුවෙ.

පින්තූරයක කතාව

මේ පින්තූරෙ බලන්න. (අපැහැදිලි කමට සමාවෙන්න, ජංගම දුරකතනයෙන් ගත්තෙ) මේ පින්තූරෙ ලොකු කතන්දරයක් කියනව.  මේ මොනවගේ තැනක් කියලද හිතන්නෙ?

Tokyo Train

පොත් කියවන 4 දෙනෙක්ගෙ කොටස් පැහැදිලිව පේනවද මන්ද. බැලු බැල්මට පුස්තකාලයක් වගේ පේන්ඩත් බැරි නැහැ. ඒත් මේ රාජකාරි ඉවරවෙලා ආපසු යන මිනිස්සුන්ගෙන් පිරිච්ච කෝච්චි පෙට්ටියක්. ජපානෙ ටෝකියෝවෙ කෝච්චියකදි තමා මේක ගත්තෙ. එහි කෝච්චිවල මේක සාමාන්‍ය දර්ශනයක්. හැමෝම කියවනව.

හැබැයි හුඟක් අය කියවන්නෙත් ඕපදූප, ප්‍රවුත්ති පත්තර වගේ දේවල් නෙමේ. තමන්ට අවශ්‍ය දේවල්. වම් පැත්තෙ හිටගෙන ඉන්න කෙනා කියවමින් හිටියෙ ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙ අලුත් දේ ගැන ලියවුන පොතක්. බැලු බැල්මට ඉලෙක්ට්‍රොනික් සමගමක ඉන්ජිනේරුවෙක් වගේ තමා පෙනුනෙ. (ඔව් ඒ අය යන්නෙත් කෝච්චියෙ තමා) දකුණු පැත්තෙ ඉන්න කෙනා ආර්ථික ප්‍රවනතා වගේ විශයයක්. මේ ඔක්කොම මැද වයසෙ උදවිය. රැකියාව කරන්න පටන් අරන් අවුරැදු 8-10 ගිය අය වෙන්ඩ ඕනෙ. නමුත් තාමත් තමන්ගෙ රැකියාව ගැන, විෂය ගැන ඉගන ගන්නව.

සියල්ල සියබසින්

ජපානායෙ, ඉන්ජිනේරු විද්‍යාවේ සිට, නිවස පිරිසිදු කිරීම දක්වා. ඕනෙම විෂයයක් ගැන, අලුත් දැනුම තමන්ගෙ භාෂාවෙන්ම සරලව ලියවෙනව. ලෝකෙ කොහෙ නමුත් අලුත් දැනුම නිපදවුන සැනින්, පරිවර්තනය කරල පොත් මුද්‍රණය කෙරෙනව.

වෙළඳපල පුන්චි නිසා, අපිට මේක කරන්න ටිකක් අමාරැ වෙන්න බැරි නැහැ. ඒත් එක් එක් කර්මාන්ත ගැන දැනුම පතුරන පොඩි සඟරා ප්‍රකාශ කරන්ඩ අමාරැ නැහැ. සිංහලෙන් අන්තර්ජාලය හරහාත් මේක කරන්ඩ පුලුවන් වෙයි ඉදිරියට. ප්‍රිඝනක තාක්ෂණය ගැන නම්, දැනමත් කීපදෙනෙක් ලියනව, පොඩ්කාස්ට් කරනව මම දැක්ක. ඒව හොඳ වැඩ. අනිත් පැති වලටත් මේක පතුරමු.

සද්ද නැතුව වැඩ

මේ පින්තූරෙ ගනිද්දි, ජංගම දුරකතනයෙ “ක්ලික්” සද්දෙ ඇහුන ගමන්, දහපහලොස් දෙනෙක්ම ගැස්සිලා මා දිහා බැලුව. මොකද, එකක් කෝච්චි පෙට්ටියක් ඇතුලෙ ඡායාරෑප ගන්න එක එච්චර ආචාරශීලී දෙයක් විදියට සැලකෙන්නෙ නැහැ.  ආචාරශීලීත්වය ජපන් සංකෘතියෙ බොහොම ඉහලින් සලකන අංගයක්.

අනික ධාවනය වෙන කෝච්චි පෙට්ටියත් ඒ පුන්චි සද්දෙ හැමෝටම ඇහෙන්න තරම් නිෂ්ශබ්දයි. කාඩ් ගහන්නෙ, සින්දු කියන්නෙ තියා, මේ අය කෝච්චියට, බස් එකට නැග්ගම කතා කරන අවස්ථාත් බොහොම අඩුයි. වටේ ඉන්න අයට බාධා වෙන නිසා. එක්කො පොතක් කියවනව, නැත්තම් තමන්ගෙ පාඩුවෙ නිෂ්ශබ්දව ඉන්නව.

නොගැලපීම් සහ කඩා වැටීම්

හැබැයි පිටස්තරයින්ගෙන් හැම දෙයක්ම එහෙම්මම අපිට ගන්ඩ බෑ. මතකද කාලෙකට ඉස්ස්‍ර ජපන්නුන්ගෙම “S5” කියල  ඵලදායිතා ක්‍රමයක් පතුරන්ඩ උත්සාහ කලා. කෝ හරි ගියායැ. ඒව අපේ ලේ වලට ගැලපෙන්නෙ නෑ. හැබැයි කියවන එක නම් තියනව. කියවන්ඩ හොඳ දේවල් තමා අඩු.

ජපන්නුන්ගෙ කියවීම ගැන කියනකොට මතක්වෙන අනික තමා, කුනුහරප ප්‍රකාශන. කොච්චර විෂය දැනුම තිබ්බත්, ආචාරශීලීත්වය ඉහලින්ම තිබ්බත්, එක පැත්තකින් සංස්කෘතික සභ්‍යත්වයනම් කඩාවැටිල. උදේ පාන්දර කෝච්චියෙ ප්‍රසිද්ධියෙම කුනුහරප චිත්‍රකතා බලන, හැට පැනපු ජපන්නුත් දුලබ දර්ශනයක් නෙමේ!