පරයන්ගෙන් ඉගනීම
June 1, 2009
“පර” කියන්නෙ, “පිටස්තර” කියන එකටනෙ. ඉතිං මේ පිටස්තරයින්ගෙන් අපිට ඉගනගන්ඩ පුලුවන් ගොඩක් දේවල් තියනව. හැබැයි ඒක ටිකක් අමාරු වැඩක්. මොකද දැන් කාලයක් තිස්සෙ ඉඳන් අපිට පුරුදු කරල තියෙන්නෙ පිටින් එන ඕනෙ දෙයක් එහෙයි කියල පිලිගන්ඩනෙ. එහෙම කරල හරියන්නෙ නැහැ. ඕනෙ, හරි දේ විතරක් පෙරල ගන්ඩ අපි දක්ෂ වෙන්ඩ ඕනෙ. කොහොම නමුත් මේ දවස්වල රට හදන හාහූවකුත් සැරේට ඇහෙන නිසයි මේ සටහන ලියන්න හිතුවෙ.
පින්තූරයක කතාව
මේ පින්තූරෙ බලන්න. (අපැහැදිලි කමට සමාවෙන්න, ජංගම දුරකතනයෙන් ගත්තෙ) මේ පින්තූරෙ ලොකු කතන්දරයක් කියනව. මේ මොනවගේ තැනක් කියලද හිතන්නෙ?

පොත් කියවන 4 දෙනෙක්ගෙ කොටස් පැහැදිලිව පේනවද මන්ද. බැලු බැල්මට පුස්තකාලයක් වගේ පේන්ඩත් බැරි නැහැ. ඒත් මේ රාජකාරි ඉවරවෙලා ආපසු යන මිනිස්සුන්ගෙන් පිරිච්ච කෝච්චි පෙට්ටියක්. ජපානෙ ටෝකියෝවෙ කෝච්චියකදි තමා මේක ගත්තෙ. එහි කෝච්චිවල මේක සාමාන්‍ය දර්ශනයක්. හැමෝම කියවනව.
හැබැයි හුඟක් අය කියවන්නෙත් ඕපදූප, ප්‍රවුත්ති පත්තර වගේ දේවල් නෙමේ. තමන්ට අවශ්‍ය දේවල්. වම් පැත්තෙ හිටගෙන ඉන්න කෙනා කියවමින් හිටියෙ ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙ අලුත් දේ ගැන ලියවුන පොතක්. බැලු බැල්මට ඉලෙක්ට්‍රොනික් සමගමක ඉන්ජිනේරුවෙක් වගේ තමා පෙනුනෙ. (ඔව් ඒ අය යන්නෙත් කෝච්චියෙ තමා) දකුණු පැත්තෙ ඉන්න කෙනා ආර්ථික ප්‍රවනතා වගේ විශයයක්. මේ ඔක්කොම මැද වයසෙ උදවිය. රැකියාව කරන්න පටන් අරන් අවුරැදු 8-10 ගිය අය වෙන්ඩ ඕනෙ. නමුත් තාමත් තමන්ගෙ රැකියාව ගැන, විෂය ගැන ඉගන ගන්නව.
සියල්ල සියබසින්
ජපානායෙ, ඉන්ජිනේරු විද්‍යාවේ සිට, නිවස පිරිසිදු කිරීම දක්වා. ඕනෙම විෂයයක් ගැන, අලුත් දැනුම තමන්ගෙ භාෂාවෙන්ම සරලව ලියවෙනව. ලෝකෙ කොහෙ නමුත් අලුත් දැනුම නිපදවුන සැනින්, පරිවර්තනය කරල පොත් මුද්‍රණය කෙරෙනව.
වෙළඳපල පුන්චි නිසා, අපිට මේක කරන්න ටිකක් අමාරැ වෙන්න බැරි නැහැ. ඒත් එක් එක් කර්මාන්ත ගැන දැනුම පතුරන පොඩි සඟරා ප්‍රකාශ කරන්ඩ අමාරැ නැහැ. සිංහලෙන් අන්තර්ජාලය හරහාත් මේක කරන්ඩ පුලුවන් වෙයි ඉදිරියට. ප්‍රිඝනක තාක්ෂණය ගැන නම්, දැනමත් කීපදෙනෙක් ලියනව, පොඩ්කාස්ට් කරනව මම දැක්ක. ඒව හොඳ වැඩ. අනිත් පැති වලටත් මේක පතුරමු.
සද්ද නැතුව වැඩ
මේ පින්තූරෙ ගනිද්දි, ජංගම දුරකතනයෙ “ක්ලික්” සද්දෙ ඇහුන ගමන්, දහපහලොස් දෙනෙක්ම ගැස්සිලා මා දිහා බැලුව. මොකද, එකක් කෝච්චි පෙට්ටියක් ඇතුලෙ ඡායාරෑප ගන්න එක එච්චර ආචාරශීලී දෙයක් විදියට සැලකෙන්නෙ නැහැ. ආචාරශීලීත්වය ජපන් සංකෘතියෙ බොහොම ඉහලින් සලකන අංගයක්.
අනික ධාවනය වෙන කෝච්චි පෙට්ටියත් ඒ පුන්චි සද්දෙ හැමෝටම ඇහෙන්න තරම් නිෂ්ශබ්දයි. කාඩ් ගහන්නෙ, සින්දු කියන්නෙ තියා, මේ අය කෝච්චියට, බස් එකට නැග්ගම කතා කරන අවස්ථාත් බොහොම අඩුයි. වටේ ඉන්න අයට බාධා වෙන නිසා. එක්කො පොතක් කියවනව, නැත්තම් තමන්ගෙ පාඩුවෙ නිෂ්ශබ්දව ඉන්නව.
නොගැලපීම් සහ කඩා වැටීම්
හැබැයි පිටස්තරයින්ගෙන් හැම දෙයක්ම එහෙම්මම අපිට ගන්ඩ බෑ. මතකද කාලෙකට ඉස්ස්‍ර ජපන්නුන්ගෙම “S5″ කියල ඵලදායිතා ක්‍රමයක් පතුරන්ඩ උත්සාහ කලා. කෝ හරි ගියායැ. ඒව අපේ ලේ වලට ගැලපෙන්නෙ නෑ. හැබැයි කියවන එක නම් තියනව. කියවන්ඩ හොඳ දේවල් තමා අඩු.
ජපන්නුන්ගෙ කියවීම ගැන කියනකොට මතක්වෙන අනික තමා, කුනුහරප ප්‍රකාශන. කොච්චර විෂය දැනුම තිබ්බත්, ආචාරශීලීත්වය ඉහලින්ම තිබ්බත්, එක පැත්තකින් සංස්කෘතික සභ්‍යත්වයනම් කඩාවැටිල. උදේ පාන්දර කෝච්චියෙ ප්‍රසිද්ධියෙම කුනුහරප චිත්‍රකතා බලන, හැට පැනපු ජපන්නුත් දුලබ දර්ශනයක් නෙමේ!
June 1, 2009 at 7:31 am
මම ඍණාත්මක අදහසක් මතු කරන්න හදනවා නෙමේ. වරදවා හිතන්න එපා. අපේ කටිටියගෙ කියවීමට ඇති ලැදියාවනම් බිංදුවයි. ඒක මම පිළිගන්නවා. ඒකට අපේ සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම වග කිව යුතුයි කියලයි මම හිතන්නෙ.
මම සාමාන්‍යයෙන් ගමන් කරන්නෙ කෝච්චියෙ. හමස කෝච්චියක කියවනව තියා පා පුවරුවකට කකුලක් ගහගන්නෙත් හරිම අමාරුවෙන්. ඒ එකක්.
ලංකාවෙ විනෝදකාමී වැඩ වලට ඒ කියන්නෙ මනස ටිකක සැහැල්ලු කරගන්න නාට්‍යයක් චිත්‍රපටයක් බලන්න යන සම්භාවිතාව හුඟක්ම අඩුයි. ඉතිං කියවීම ගැන කවර කතාද? ශ්‍රමය සූරා කෑම අතින් ලංකාව ඉන්නේ හුඟක් ඉස්සරහින් වෙන්න ඇති. දවස පුරාම වෙහෙස මහන්සි වෙලා ගෙදර එන ගමන් මිනිස්සු කල්පනා කරන්නෙ හම්බවෙන සොච්චම කළමනාකරණය කරගන්නෙ කොහොමද කියල. හැම මිනිහම ඉන්නෙ පීඩනයෙන්. ඒ මදිවට ගමනාගමන ක්‍රමවේදය හැදිල තියෙන්නෙ ඒ මනුස්සයගෙ මනස සන්සුන් කරන්න නෙමේ තවත් පීඩනය දැඩි කරන්න. බලන්න කෝච්චයක් නවත්තන්න හදද්දි මිනිස්සු පොරකන හැටි. (මමත් පොරකාල තියනව ඉතිං
) ඒ අනිත් අය අබිබවා ගිහින් ආසනයක් ලබා ගන්න. ඒ අතරෙ තමන්ගෙ මුදල් පසුම්බිය සහ වටිනා දේ පිළිබඳ නිරන්තර සෝදිසියෙන් ඉන්න ඕන.
ඉතිං මේ වගේ වාතාවරණයක කියවීමට ඇති ඉඩකඩ ටිකක් අඩුයි. ඒත් මේ තත්වය ටිකෙන් ටික අඩු වේගන යනවා කියලා මට දැනෙනවා. ඒ දුර ගමන් බස්රථ වල සමහරු පොත් කියවන්න දැන් දැන් හුරු වෙලා. අපි බලාපොරොත්තු බිඳ නොගනිමු. කවදාහරි අපි ජපානයටත් වඩා ඉදිරියට යමු!
දිගටම ලියන්න. ඔබේ අදහස් මම අගය කරනවා.
June 1, 2009 at 8:47 am
බොහොම වැදගත් ලිපියක්…
නමුත් 5S ක්‍රමය ගොඩක් ආයතනවල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. 100%ක් නැතිවෙන්න පුළුවන්. අසාර්ථක වෙනවා නම් වෙන්නෙ ඒ ගැන සේවකයන් හරියට දැනුවත් කරල උනන්දු කරල නැති නිසයි.
June 1, 2009 at 9:35 am
අදහස් වලට ස්තූතුයි!
තමීර, s5 අපිට හරියන්නෙ නැහැ කිව්වෙ සහේතුකවයි. එය අපිට කෘතිමයි. ඵලදායීතාව වැඩි කරගන්න පුලුවන් අපිට ඊට වඩා සමීප අපේම ක්‍රම තියනව කියලයි මම හිතන්නෙ. දවසක මේ ගැන ලියන්නම්.
June 1, 2009 at 9:44 am
life,
ජපානෙත් කාර්යාල වෙලාවට අපේ කෝච්ච් වල වගේම සෙනග. සමහර දුම්රියපල වල උදේට මිනිස්සුන්ව කෝච්චි ඇතුලට දාල තද කරන්න අයත් (pushers) ඉන්නව. තෙරපි තෙරපිත් එක අතකින් පොතක් අල්ලගෙන කියවන අය ඉන්නව. මේ පින්තූරය බලන්න.
http://images.encarta.msn.com/xrefmedia/sharemed/targets/images/pho/t028/T028954A.jpg
ඒ වගේම කෝච්චි වල කියවන පොතුත් ප්‍රමානයෙන් කුඩාවටයි හදල තියෙන්නෙ.
June 1, 2009 at 10:23 am
මම අහල තියෙනව පෙන්ගුයින් ප්‍රකාශන පොත් හදන්න අදහස මුලින්ම ඇවිත් තියෙන්නෙත් කෝච්චි,බස් වල යන මගීන් සඳහාමයි කියල. වැඩිය ලොකු නැති,බර නැති පොත් නිසා පහසුවෙන් ගෙනියන්න පුළුවන්. මම කෝච්චියේ හරි බස් එකේ හරි ගමනක් බිමනක් යද්දි නොවැරදීම ගෙනියන භාන්ඩ තුනක් තියෙනව. එකක් ප(ර්)ස් එක, අනික වතුර බෝතලේ තුන්වැනි එක පොතක්, පත්තරයක් නැත්නම් සඟරාවක්.
June 1, 2009 at 5:22 pm
අපූරු ලිපියක්. මෙච්චර කල් ලංකාවෙ දුම්රිය වල ගියාට ජපානෙ දුම්රිය ගමන් ගැන දැනගෙන හිටියෙ නැහැනේ…
මමත් දුම්රියෙ යන අතරෙ eBook කියවන්න ගිහින් තමයි ලැප්ටොප් එකටත් වැඩේ සිද්ධ කරගත්තෙ.
මෙන්න මගේ අදහස:
අනෙක් මගීන් එක්ක කතාබහක් නැතුව ඔහේ යන එන එක නං අපේ රටට ගැළපෙයි කියන්න අමාරුයි. ආරක්ෂාව ලොකු ගැටළුවක් වෙලා තිබුණු පහුගිය කාලෙ (දැනුත් එහෙමම තමයි) දුම්රිය මගීන් එකිනෙකා හඳුනාගෙන සිටීම ලොකු සහනයක් වුණා. මගේ මතය නම්, පැය ගණන් ගත වෙන දුම්රිය ගමන් වලින් ඇති වෙන වෙහෙස/මානසික ආතතිය නැති කරගන්න විහිළුවක් කරල සිංදුවක් දෙකක් කියල ආතල් එකක් ගත්තට කමක් නෑ කියන එක.
අපේ මිනිස්සු පොත් පත් කියැවීම මදි කියන එකට නම් මම එකඟයි.
ලංකාවෙ කාර්යාල දුම්රිය ගැන කතා කරන්න ගියොත් නම් සෑහෙන දේවල් තියෙනව. ඒව මෙතන ලිව්වොත් ලිපියේ මාතෘකාවෙන් පිට යන්න ඉඩ තියෙන නිසා ඒ ගැන ඉඩ ඇති විටෙක වෙනමම ලියන්නම්.
S5 ගැන කියන්න තියෙන්නෙ නම් ඒක සාර්ථක ක්‍රමයක් කියන එක තමයි. ඒත් අපේ රටේ කම්මැලි හණමිටිකාරයන් එක්ක ඒ දේ ක්‍රියාවට නංවන්න බැහැ කියලයි මට හිතෙන්නේ. S5 ක්‍රියාත්මක කරල ඵලදායීතාව සැලකිය යුතු මට්ටමින් දියුණු කරගත්ත රාජ්‍ය ආයතන අතලොස්සක් අපේ රටේ තියෙනව කියන එක අමතක කරන්න එපා.
June 2, 2009 at 1:42 am
ඔව් ලංකාවෙ දුම්රිය ගමන හරි සුහදයි තමයි. උදේ වැඩට යද්දි හතර පස් දෙනෙක් වත් හැමදාම මූන බලල හිනා වෙලා, කතා කරන්න වෙලා නැත්තම් අඩුම ගානෙ ඔලුවවත් වනන එක, කොච්චර වටින දෙයක්ද කියල දැනෙන්නෙ ඒක නැති උනාම.
ගමන් යද්දි ebooks කියවන්න නම් හොඳ Sony ebook reader එක තමයි. නමුත් හැම වෙලේම පරිඝනක තිරයෙ මූන ඔබන් ඉන්න හින්ද, එලියට බැස්සාම මම නම් කැමති කඩදාසි කියවන්ඩ තමා.
June 1, 2009 at 6:02 pm
ඔව් ඔව් පිටස්තරයින්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා
මමනම් හුඟක් වෙලාවට බස් එකේ පොතක් කියව කියව යන්නේ. කියවන්න බැරි තරම් එළියක් නැති වෙලාවට හරි වාඩි වුන ගමන් ඇස් වැහෙන්න මහන්සි වුන වෙලාවක තමයි පොත් කියවන්නේ නැත්තේ.
කොහොමත් එන්න එන්න කියවීමේ පුරුද්ද අඩුවෙනවා. මම හිතන්නේ රූපවාහිනියේ හා පරිගනකයේ පැමිණීමත් සමඟ තමයි පොතට කෙළ වුනේ. අද මම සරසවියට ගියා පොතක් හොයන්න කියලා. ඒ පොත මාස ගානකින් එතනට ඇවිත් නැහැ.
අනිත් එක කියවන රසය. පොත් සාප්පුවකට ගියොත් තියෙන්නේ මොනවා හරි thriller, sci-fi වගේ දෙයක්. ඇත්තටම අගයක් තියෙන පොතක් හොයාගන්න බොහොම අමාරුයි.
June 2, 2009 at 10:23 am
මේකට මරු කතාවක් මාත් එක්ක කිව්ව අපේ අබන්පොල හාමුදුරුවො. “දැන් තාක්ෂණයෙ හොඳ පැත්තක් තියෙනව කිව්වට ඒකෙනුත් දුර්වලතා රාශියක් තියෙනවා. දැන් බලන්න ඉස්සරම යම් දෙයක් මතක තියා ගත්තෙ කට පාඩමින්, ඊට පස්සේ එවා පොත් වල ලිව්වා, වර්ථමානයේ පරිගනකය උප්යෝගී කරගෙන අපි කරන්නේ වැඩි හරියක් කොපි කරලා පේස්ට් කරන එකනේ. ඒතකොට අපේ මතක ශක්තිය එන්න එන්නම දුර්වල වෙනවා.” බලන්න මේ කතාව 100% නිවැරදියි. අනෙක් කරුණ තමයි රූපවාහිනිය ඇතුලු මේ බහුමාධ්‍ය. මේවායේ තියෙන ඇබ්බහි සුළුබව නිසා තමයි අද මිනිස්සු පොතෙන් ඈත්වෙලා තියෙන්නේ.