ඇයි අපි හොල්මං වෙලා?
October 5, 2008
ගිය පාර ලංකවට ආපු වෙලේ, එක එක දේවල් වලට රටපුරා දුවන අතරෙ මට වෙනදටත් වඩා හොඳට දැනුනු දෙයක් තිබ්බ. ඒතමා අපේ රටේ හුඟ දෙනෙක් (විෂේශයෙන් තරැණ පිරිස) ගත කරන්නෙ පාවෙන ජීවිත කියන එක. මොනවටද ජීවත් වෙන්නෙ කියල දන්නෙ නෑ. මොනවද කරන්ඩ ඕනෙ කියල දන්නෙ නෑ. මෙතනින් කොහෙට ද යන්නෙ කියල දන්නෙ නෑ. ජීවිතේ කිසි සතුටකුත් නෑ. අවාසනාවන්ත හොල්මං වගේ ඔහේ යනව.
ඔය ගැන මම කල්පනා කර කර ඉන්න වෙලේ මම නවතිලා හිටපු තැන හිටපු ඕලන්දක්කාර (Dutch) කාන්තාවක් මාත් එක්ක කතාවට ඇවිත්, මගෙ හිත කියෙව්ව වගේ මගෙන් අහනව, “ඔයා මොනවද ලංකාව ගැන හිතන්නෙ?. මිනිස්සුන්ගෙ කිසි සජීවී බවක් නැහැ නේද?” කියල.
ඇත්ත, හමෝම ජීවිතේ දිහා ගැඹුරින් බලන්නෙ නැහැ තමා. ඒත් වෙනත් හුඟක් රටවල මිනිස්සුන්ට ඉවෙන් වගේ තමන්ගෙ ජීවිත ගලාගෙන යන විදිහ ගැන අවබෝධයක් තියනව. කරන්ඩ ඕන දේදන්නව. තමන්ගෙ ජීවිත් දිහා ගැඹුරෙන් නොබැලුවට නිරායාසයෙන් ම ඒක ගලාගෙන යනව. ටික කාලයක් දියුණුයි කියන රටවල මිනිස්සු අතරෙ ඉන්නකටො මේක හොඳට දැනෙනව. අන්තිම මෝඩය උනත් කොහෙන්දෝ ආපු ඉවකින් වගේ අරමුණක් කරා යනව. අපිට ඒක දනෙන් නැත්තෙ ඇයි?
බැලූ බැල්මටම හිතෙන්නෙ අපිට සල්ලි නෑ. උන්ට සල්ලි තියනව. යුද්ද කරන්ඩත් ඕනෙ. බඩු මිලත් වැඩි වෙලා. අපි එදා වේල හොයගන්ඩ දුක් විඳිනව. උන්ට සැප. අපිට දුක. අපිට ඕව හිතන්ඩ, කරන්ඩ වෙලාව නෑ, කියල. ඒත් ඇත්ත ඒක නෙමේ. අපේ සමජය හොල්මං වෙන්ඩ හෙතුවක් තියනව. පාවි පාවී ඔහේ යන්ඩ හේතුවක් තියනව.
ඒ හේතුව තමා අපේ සමජයෙ පදනම දිරා ගිහින් තිබීම. අපේ පද්ධති බිඳ වැටී තිබීම. ඇත්තෙන්ම ඒක බිඳ වටීමක් නෙමේ. බිඳ දැමීමක්. බිඳ දැමීමක්මත් නෙමේ, බිඳදමමින් පැවතීමක්. මේක අව්‍රැදු 300ක් විතර කාලයක් තිස්සෙ බොහොම හෙමින් වෙන දෙයක් නිසා, කල්පනාවෙන් නොබැලුවොත් එක පාරට පේන්නෙ නෑ.
කාලාන්තරයක් මුලුල්ලේ සමාජයක ගොඩ නැගෙන එක එක පද්ධති නිසා තමා මිනිස්සුන්ට අර ඉව ලබෙන්නෙ. එතකොට තමා යන ගමනෙ සිතියම මිනිස්සුන්ගෙ ලේවල තැම්පත් වෙන්නෙ. හුඟක් උල්පත්වලින් දිගටම නොකඩවා වතුර ගලනකොට, ඒ වතුර මුහුදට ගලන පාර හෙමින් හෙමින් සකස් වෙලා, ගඟේ පාර ලකුනු වෙනව වගේ වැඩක් තමා ඒක. අපේ ඒ ගඟ හෙමින් හෙමින් හිඳිල ගිහින්. තැනින් තැනින් මතුවෙන හුදකලා උල්පත් වලට ගලන්ඩ පාරක් නැහැ. මඩ වලවල් විතරයි හැදෙන්නෙ.
ඉතින් අපි මොකද කරන්ඩ ඕනෙ? මේක පිටින් ගෙනාපු දේවල් වලින් පුරැද්දන්ඩ (repair කරන්ඩ) බැහැ. අලුතෙන් ම හදන්ඩත් බැහැ. හෙමින් හෙමින් අපිම හාරල එක එක උල්පත් මතු කරගන්ඩ ඕනෙ. ටිකින් ටික අපේ ගඟේ සලකුනු පාදගන්ඩ ඕනෙ. ඒක අපේ පරම්පරවෙ වගකීමක්.
මේක යටත්විජිත විදිහයට හිටිය (විෂේශයෙන් බ්‍රිතාන්ය යටත්විජිත) රටවල් වලට පොදු ප්‍රශ්නයක්. නමුත් දැන් ඒ සමහර රටවල් බොහොම හොඳින් ඒ පාරෙ යන බව පේනව.
හැබැයි මේක කරන්ඩ පුලුවන් දේශපාලනයෙන් නෙමේ. (දේශපාලකයන්ට උදව් කරන්ඩ පුලුවන්. ඒත් කරන්ඩ බැහැ) අපිම තමා කරන්ඩ ඕනෙ. එකිනෙකා වෙන වෙනම, තමන්ගෙ එදිනදා ජීවිත තුලින් සකස්වෙමින් තමා මේවඩෙ කරන්ඩ ඕනෙ.
හෙමින් නමුත්, වීරියයි, මොලෙයි පාවිච්චි කරල අපිට කරන්ඩ දෙයක් තියනව!
කොහොම හරි, මට කියන්ඩ ඕනෙ උනේ, අපිට නැති මොකද්දෝ ඉවක් අනිත් (හුඟක්) රටවල අයට තියනව කියන එක. ඒක ඒගොල්ලොන්ට මඟ පෙන්වන බව පේනව.
දියුණුයි කියන රටවල විදේශිකයන්ව ආශ්‍රය කරන්න ලැබෙන අය පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න.
October 5, 2008 at 6:23 pm
ඇත්ත. අපි තවමත් අපිව හොයාගෙන නැති එක තමයි මට හිතෙන්නේ මේ ඔක්කොටම මුල, බටහිර ජාතීන් ඒ අතින් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. මොකද ඔවුන් අනුන්ව හොයන්න යන්නේ නෑනේ.කවුරුත් කියන නිසා, කරන නිසා කරනවා මිසක හරි අරමුණකින් යමක් කරන පිරිස අඩුයි. ඕකයි යතාර්ථය.හරිම වටිනා ලියවිල්ලක් ! දිගටම ලියන්න.
October 6, 2008 at 1:25 am
ඔව් බෝ, හොයනව කියන එක තම වෙන්ඩ ඕනෙ. අලුතින් හදනව හරි ගෙන්නනව නෙමේ. මොකද, හොයන්ඩ දෙයක් තියනව. අපිට ඒකත් අමතක වෙලා තියෙන්නෙ. හැබයි පරිස්සමෙන් කරන්ඩ ඕනෙ. සිහියෙන් කලේ නැති ගොඩක් අය, ප්‍රායෝගික නොවන මතවාද වල පැටළිලා මඩවලවල් බවට පත් වෙලා තියනව.
දිරිමත් කිරීමට ස්තූතියි!
October 6, 2008 at 3:44 am
මේ වන විට ලාංකීය ජන සමාජයේ පරමාදර්ශයන් ඉතිරිව නැහැ. දශක කිහිපයක් මුළුල්ලේ දිවෙන යුධමය මානසිකත්වය හා ගැඹුරු සමාජ-ආර්ථික-දේශපාලනික කරුණු සඳහා හරියාකාරව පිළියම් නොයේදීමත් තුල මේ තත්වය ඇතිවීම පුදුමයක් නොවෙයි. ඔබ කිව්වා සේම මීට පිළියම් මතු විය යුත්තේ ජනතාව තුලින්ම තමයි. එහෙත් මඟපෙන්වීමක් නොමැතිව එසේ සිදු වේද? මම හිතන්නේ නිවැරදි පටු දැක්මක් රහිත සමාජ-දේශපාලනික ව්‍යාපාරයක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නිසා
October 6, 2008 at 4:26 am
කසුන්,
එක විදියකට ඔබ හරි, මගපෙන්වීමක් ඕනෙ තමයි. හැබැයි අපිට ඔය මග පෙන්වීම අපි හොයගන්ඩ ඕනෙ අපි එකිනෙකා තුලින්මයි. ඒකට උදව් කරන්ඩ අර පරණ උල්පත් වල ලකුණු තවම ඕනෙ තරම් තියනව! ප්‍රමදර්ශ හොයන්ඩ ගිය හින්ද තම අපිට වරදුනේ. අපි බලන් හිටිය වීරයො බිහිවෙනකන්, ජයසේනල, චේ ගවේරල බිහි වෙනකන් අපි බලන් හිටිය. නැති තැන බිහි කරන්ඩත් හැදුව.
පරමාදර්ශය තියනව. අපේ ලේ වල, අපි තුලමයි! මේක අපිට අල්ලගන්ඩ පුලුවන් හොන්දට මීටරේ tune කලොතින්. අපිට ඕක අමතක වෙලා (සහ අමතක කරවල) තියන නිසා තමයි වීරයො හොයන්ඩ ගියෙ.
ඕක ම තමයි සමාජ-දේශපාලනික ව්‍යාපාරය! පරමාදර්ශත් ඉබේම බිහිවෙයි එතකොට.
අනිත් එක බැලු බල්මට පේන දශක කීපෙක අර්බුදය නිසා, ඇස් වඩෙන්ඩ දෙන්ඩ නරකයි. ඕව සුලු තුවාළ. ඊට වඩ ගොඩක් යටට හාරන්ඩ ලෑස්ති වෙන්ඩ ඕනෙ අපි.
කසුන් කියපු සමාජ-ආර්ථික-දේශපාලනික කරුණු ඇති වෙන්ඩත් ඒවට තාම පිලියම් කරගන්ඩ බැරි වෙන්ඩත් හේතුවත් වෙන එකක් නෙමේ. අපි අපි කව්ද කියන එක තේරැම් ගත්තෙ නැති එකමයි.
සංවාදයට ස්තූතියි!
October 6, 2008 at 6:57 am
නියම ලිපියක් මචං, මේ වගේ සංවාදයක් තමයි ඇතිවෙන්න ඔනි.
මාත් ඉන්නේ ඔයාගේම මතයේ තමයි.
ඉස්ස‍්ර අපේ රටට කිව්වෙ පෙරදිග ධාන්‍යාගාරය කියල, ඒත් දැන්?
අද ඉන්නේ රූපවහිනිය විසින් බිහි කල තරුණ පිරිසක් ඔවුන් කදින් ලංකවෙ හිටියට හිතින් ඉන්නේ ඇමරිකනු සංස්කෘතියේ.
උන්ට මේ රටගැන ආඩම්බරයක් හෝ කැක්කුමක් නෑ.
මෙන්න මේ වගේ කාරණා ඔලුවෙන් අයින් කොරණකන් හැමදාම මෙහෙම තමයි.
October 6, 2008 at 7:15 am
ස්තූතියි රැපා…
ඔව්, ඒක අලුත් පරම් පරාවෙ වරැද්දක්මත් නෙමෙ, අලුත් පරම්පරවට මොකද්දෝ ආඩම්බරයක්, කැක්කුමක් තිබ්බත්, අර ඉව නැති නිසා, මොනව ගැන ආඩම්බර වෙන්ඩද කියල හිතා ගන්ඩ බැහැ.හෙමිහිට පාදගමු!
October 6, 2008 at 9:27 am
අති පූජ්‍ය සෝම හිමිපාණන් ජීවත්ව සිටින දින වල අපේ පැත්තෙ බණකට වැඩියා. ධර්ම දේශනාව අතර තුර පන්සල් වත්තේ එහා මෙහා ඇවිදින තරුණ පිරිස දැක “ඔය එහෙ මෙහෙ ඇවිදින්නෙ හරක්. උඹල දන්නෙ නෑ උඹලගෙ අනාගතේට මොනව වෙනවද කියල. ජීවිතේ ගැන කිසිම බරක් පතලක් උඹලට නෑ” කියල බොහොම සංවේගයෙන් හා තදින් කතා කළා.
ඇත්තටම ඔබ කියන දේ සමග මමත් එකඟ වෙනවා. අපේ තරුණ පරපුර අතර සැලැස්මක් අනුව ජීවිතේ හැඩගස්වා ගැනීම දකින්නට ලැබෙන්නේ අඩුවෙන් තමා.
October 6, 2008 at 9:47 am
ඔබ කියන දේ මම පිළි ගන්නවා. මේ අර්බුධයන් විසඳුම් නොමැති ඒවා නොවෙයි. අපි විසින් එකිනෙකා තුල ඇතිකරගන්නා අවබෝධය මතත්, එයින් ඉක්බිති අප ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයන්ගේ ගුණාත්මක බව අනුවත් ලෝකය වඩාත් යහපත් තැනැක් වනු ඇති. මේවැනි සංවාදයන් පවා වැදගත් වෙන්නේ ඒ අර්ථයෙන්. අද අපට උරුමව ඇති මේ සමාජඅර්බුධයන් හෙට පරම්පාරාවටත් විඳවීමට ඉඩ නොතබා විසඳිය යුතු ඒවා.
October 6, 2008 at 9:51 pm
life, කසුන්,
සංවාදයට ස්තූතියි!
සංවාදයෙන් එහාට යන්නෙ කොහොමද කියලත් අපි හෙමිහිට හිතමු.
January 5, 2009 at 10:52 am
මගේ විෂයේහිනම් මේ කතාව 100% ක් ඇත්ත. මන් දන්නේ නැහැ ඇයි මන් ජීවත් වෙන්නේ කියල. මන් මේ ඉපදුන නිසා මැරෙනකම් ජීවත් වෙනනේ කිසිම අරමුණක් නැහැ.